පසුගිය සැප්තැම්බර් මස 28 වෙනිදා ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනය වශයෙන් රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. විශ්වයේම තොරතුරු ඇසුරු සැණකින් අතේ තිබෙන ජංගම දුරකථනය හරහා ලබාගත හැකි යුගයක තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරන්න වෙනම දිනයක් අවශ්‍ය දැයි ඔබට සිතෙන්නටත් පුළුවන්. නමුත් දිනපතා සිය භාණ්ඩ රේගුවෙන් නිදහස් කරගැනීමට පොර බදන කුඩා හෝ මධ්‍ය පරිමාණ වෙළඳ මහතකුගෙන් මේ ගැන විමසුවොත්, සමහර විට ඔබේ එම අදහස වෙනස් වේවි .
කොළඹ, ගාලු පාරේ, සිය කාර්යාලයේ සිට ආනයන-අපනයන වෙළඳාම පවත්වාගෙන යන චමිල් පෙරේරාට තමන්ගේ ආනයන භාණ්ඩ රේගුවෙන් නිදහස් කරගැනීමේ ක්‍රියාවලිය ප්‍රතිවාදියෙකු සමඟ පොර බැදීමකට දෙවැනි නැහැ. චමිල් වගේ බොහෝ පිරිස් තමන්ගේ වෙළඳාම් කටයුතු හරහා රටට ආදායමක් උපදවා දෙන අතරම නව රැකියා අවස්ථා උත්පාදනයටත් දායකත්වය ලබා දෙනවා. නමුත් ඉහත කී ක්‍රියාවලියේ දී රේගු කටයුතු ගැන හරි තොරතුරු ලබා ගැනීමට තිබෙන නොහැකියාව වගේම ක්‍රියාවලියේ ඇති සංකීර්ණ බව නිසා විශාල ලෙස කාලය හා මුදල් නාස්ති වීමකට ඔවුන් මුහුණ දෙනවා.
ආනයන-අපනයන ක්‍රියාවලියේ දී මුණගැසෙන සංගෘහිත පද්ධති කේත (Harmonized System Codes) රේගු නිලධාරීන් විසින් නිසි දැනුම් දීමකින් තොරව වෙනස් කරන්නේ ඇයි? භාණ්ඩයකට නියමිත ආනයනික ගාස්තු ඉක්මණින් වෙනස් වන්නේ ඇයි? අවශ්‍ය තොරතුරු හා බලපත්‍ර ලබාගන්නට බොහෝ විට ඔවුන්ව වැරදි ආයතන වෙත යොමු කරන්නේ ඇයි? මේ චමිල් වැනි කුඩා හා මධ්‍ය පරිමාණ වෙළඳුන් වෙත තිබෙන විසඳුම් සොයන්න අපහසු ප්‍රශ්න මාලාවක්.
ශ්‍රී ලංකාවේ ආනයන-අපනයන පරිසරය වැඩිදියුණු කරන්නට ශ්‍රී ලංකා රජය මෑතකදී බොහෝ උත්සාහයන්වල නිරත වී ඇති බව පැහැදිලියි.නමුත් තම ආනයන-අපනයන ක්‍රියාවලියට අවශ්‍ය කරන ලියකියවිලි සකසා ගන්නටත්, රේගුවෙන් භාණ්ඩ නිදහස් කරගැනීමේ ක්‍රියාවලිය පරිගණකගත පිවිසුම් ඔස්සේ ක්‍රියාත්මක කරවීම හරහා වඩාත් සරල හා පහසු කරවීම සඳහාත් තව බොහෝ දේ කළ හැකියි. හැම වර්ෂයකම ලෝකයේ රටවල්වල වෙළඳාම් කිරීමේ පහසුව මැන බලන ලෝක බැංකුවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයට (Doing Business) අනුව , 2016 දී ශ්‍රී ලංකාවට භාණ්ඩයක් ආනයනය කිරීමට අවශ්‍ය ලියකියවිලි සකසා ගන්නට ගතවූ කාලය දළ වශයෙන් පැය 58ක් පමණත්, වැයවූ මුදල දළ වශයෙන් ඇමරිකානු ඩොලර් 283ක් (රුපියල් 42,450/-ක්) පමණත්, ශ්‍රී ලංකාවෙන් භාණ්ඩයක් අපනයනය කිරීමට අවශ්‍ය ලියකියවිලි සකසා ගැනීමට ගතවූ කාලය දළ වශයෙන් පැය 76ක් පමණත්, වැයවූ මුදල දළ වශයෙන් ඇමරිකානු ඩොලර් 58ක් (රුපියල් 8,700/-ක්) පමණත් වෙනවා.
චමිල් වැනි වෙළඳ මහතුන් ගණනාවක් වෙළඳ භාණ්ඩ ආනයන-අපනයන කටයුතුවලදී මුහුණ දෙන මෙම අභියෝගයන් මගහරවා ගැනීම අරමුණු කරගෙන ශ්‍රී ලංකා රජය මෑතකදී ලෝක වෙළඳ සංවිධානය (WTO) හඳුන්වා දුන් ආනයනයට හා අපනයනයට අවශ්‍ය පහසුකම් සපයා දීම පිළිබඳ ගිවිසුමට (World-Trade Facilitation Agreement) අත්සන් තැබුවා. මෙම ගිවිසුමට අනුව ජාත්‍යන්තර වෙළඳාමේ දී අවශ්‍ය කරන නීති හා රෙගුලාසි ඇතුළු තොරතුරු ඇතුළත් වෙබ් අඩවියක් හඳුන්වා දෙන්නට ශ්‍රී ලංකාවේ රජය දැන් තීරණය කරල තියෙනවා.
මෙම වෙබ් අඩවියට ජාත්‍යන්තර වෙළඳාමට සම්බන්ධ ලියකියවිලි සකසා දීමට අදාල හැම රාජ්‍ය ආයතනයකම නීති හා රෙගුලාසි වගේම ඉල්ලුම් පත් හා වෙනත් විස්තරත් ඇතුළත් කරන්න නියමිතයි. මෙමගින් ආනයන-අපනයන වෙළඳාමට අදාල තොරතුරු ලබා ගන්නට වෙළඳ මහතුන්ට තියෙන අයිතිය තහවුරු කෙරෙන අතරම තොරතුරුවල විශ්වසනීයත්වය හා විනිවිදභාවය වගේම ස්ථිර බව වැඩි දියුණු කිරීම නිසා ජාත්‍යන්තර වෙළඳාමේ නිරතවීම පහසු කටයුත්තක් වෙනු නොඅනුමානයි.
Join the Conversation