ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන ප්‍ර‍ගතිය පිළිබඳ හැරී බලමු

This page in:

මෑතකදී  නිමාව දුටු ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හොඳින් ක්‍රීඩා කළ බව ඇතැමෙක් සිතන්නට ඉඩ ඇත. රූපවාහිනිය හා සමාජ මාධ්‍ය තුළ ද, මා ද ඇතුළු අපගේ කාර්යල සගයන් අතර අපගේ කාර්යාලයේ දී ද මේ ගැන ඇති වූ දැඩි විවාද පැහැදිලිවම යෝජනා කළේ ඔවුන්ගේ තරගකාරී බව ගැන සැවොම සතුටු නොවන බවයි. මේ විවිධ වාද විවාද අතරතුර, ලෝකයේ විවිධ කලාපවලින් පැමිණි මාගේ වෘත්තීය සගයින් සහ මිතුරු මිතුරියන් උණුසුම් ලෙස ජයඝෝෂා නගන අයුරුත්, තරග සමාලෝචනය කරන අයුරුත්, එකිනෙකට ප්‍ර‍තිවිරුද්ධ කණ්ඩායම්වලට සහයෝගය දක්වන අයුරුත්, ක්‍රීඩාව කෙරෙහි බලපාන දේශපාලනය ගැන විමසා බලන අයුරුත් සමග ජයග්‍රාහකයින් හා පරාජිතයින් පිළිබඳ පූර්ව විනිශ්චයන් ලබා දෙන අයුරුත් මම දුටුවෙමි. මෙහි ප්‍ර‍ධානතම කරුණ නම් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් වර්ගීකරණයේ අටවන ස්ථානයේ රැඳී සිටීමට සෙසු රටවල් සමග තරග වැදිය යුතුව තිබීමයි. ආර්ථික වර්ධනය සිදුවන ආකාරය ද විවිධ මතවාදවලට ලක් වෙමින් මෙම ක්‍රිකට් සම්බන්ධ උදාහරණය සමග හොඳින් ගැලපෙයි. අපි ඒ සිතුවිල්ල පිළිබඳ සාකච්ඡා කරමු.

පුවත්පත්වල නොඑසේනම් අන්තර්ජාලයේ සංසරණය වන බොහෝ ප්‍ර‍වෘත්තිමය ලිපි කියවීමෙන්, නොඑසේනම් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන පුරවැසියන්ගේ අදහස් විමසා බැලීමෙන් එක් දෙයක් පැහැදිලි වේ. එනම් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සිදුවන ආකාරය පිළිබඳ සියල්ලන්ම එකඟ වන අදහසක් දක්නට නොමැති බවයි. සංවර්ධිත රටවල් සළකා බලන විට ඉහළ වර්ධන වේගයක් වන 4.4%, සංවර්ධනය වෙමින් පවතින හා ශ්‍රී ලංකාවේ හැකියාවන් මට්ටමෙන් ගත් කළ පහළ අගයක් ලෙස ඇතැමුන් තර්ක කරයි. මේ අතර සමහරෙක් ‘ ඇත්තටම වර්ධනය වෙනවාම දැයි‘අසති! මෙහි ප්‍ර‍තිඵලය වී ඇත්තේ සෑමදෙනාටම කුමන හෝ ආකාරයකින් වැදගත් වන ගැටළුවක් ගැන අපැහැදිලි චිත්‍ර‍යක් නිර්මාණය වී තිබීමයි.

වසරකට දෙවරක් ලෝක බැංකුව දිවයිනෙහි ආර්ථික පසුබිම පිළිබඳ දත්ත සහ විශ්ලේෂණ ඉදිරිපත් කරයි. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය කුමක් ද? ආර්ථික වර්ධනය වේගවත් කිරීමට සිදු කළ යුත්තේ මොනවා ද? ඒ සඳහා සහාය වීමට පුරවැසියන් සිදු කළ යුත්තේ කුමක් ද?  වැනි ගැටළුවලට පිළිතුරු දීමට එහිදී අපි උත්සාහ දරමු. ක්‍රිකට් ක්‍රීඩාව අනුව අතිදක්ෂ ක්‍රීඩකයකුට වුව කිසිවකුගේ දිරිගැන්වීමක් නොලැබේ නම්, ඔහුගේ උනන්දුව හීන වී ගොස් ඔහු අසාර්ථක වන බව අපි දනිමු. එවැනි තත්වයක් අවසානයේ ක්‍රීඩාව පිළිබඳ උද්යෝගයද වියැකී ගොස් කණ්ඩායමේ ශ්‍රේණිගත කිරීම්වලින් පහත වැටීමට ද හේතු විය හැක. දෙපාර්ශවයම කුමක්, කෙසේ, කා විසින් දිනාගත යුතු දැයි වටහාගත යුතු අතර තරගයකදී කණ්ඩායමක් සාර්ථක නොවූ විට තරගයේ කුමන අංශය වෙනස් කළ යුතු දැයි පැහැදිලි කරගත යුතු ය. ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රිඩාවේ දැවැන්තයෙක් බවට පත්වූයේ එපරිද්දෙනි.  

අපගේ විමර්ෂණයන්ට අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සිදුවෙමින් පවතී. එහෙත් එය තවදුරටත් වේගවත් කළ හැක. තව ද ආර්ථික වර්ධනයෙන් සියල්ලන්ට ප්‍ර‍තිලාභ අත්වී නැත. අයහපත් කාලගුණික තත්වයන්ගෙන් වර්ධනයට බාධා එල්ල කෙරුණු අතර වර්ධනය සඳහා තවත් අවස්ථා රැසක් ඉතිරිව පවතී. ජාත්‍යන්තර වශයෙන් කීර්තිය හිමිකරගැනීමට නම් ජාත්‍යන්තර වේදිකාවක ක්‍රීඩා කළ යුතුම ය. ශ්‍රී ලංකාව දේශසීමාවන් ඉක්මවා තරඟකාරී රාජ්‍යයක් වනු පිණිස වෙළඳ කටයුතු හා ආයෝජන වැඩිදියුණු කළ යුතුව ඇත. එසේම, නිපුණතා සංවර්ධනය සඳහා ආයෝජනයන් කළ යුතුව ඇත. ක්‍රිකට් කණ්ඩායම් පුහුණුවීම්වලින් තොරව තරගයකට එළඹුණහොත් කුමක් සිදුවනු ඇත්දැයි මඳකට සිතා බලන්න; නොඑසේනම්, නව අත්හදා බැලීම් සිදු නොකර එකම ආකාරයට සෑම දිනකම තරග කළේ නම් කුමක් සිදුවනු ඇත් ද? ඔවුන් සාර්ථක වීමට ඉඩ අඩු බව මගේ විශ්වාසයයි. ප්‍රතිසංස්කරණයන් සාර්ථකව සිදු ‍කරමින් ලෝක මට්ටම තෙක් පිවිසිය හැකි බව ශ්‍රී ලංකාව පෙන්වා දී ඇති අවස්ථා ඉමහත් ය. තේ සහ සංචාරක ව්‍යාපාරය මෙහිදී සිහියට නැගේ. GSP+ සහනය හිමි වීම ද අපනයනකරුවන්ට වැඩි අවස්ථාවන් ළගා කර දෙනු ඇති බව මගේ විශ්වාසයයි. ප්‍ර‍තිසංස්කරණ දොරටු විවර වන විට බොහෝ ශ්‍රී ලාංකිකයින්ට ප්‍ර‍තිලාභ හිමිවනු ඇත.

ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකාව පිළිබඳ අපගේ සංවර්ධන ඇගයුම ඉදිරිපත් කෙරෙනු ඇත. එය රටේ සංවර්ධනය පිළිබඳ විවිධ පැතිකඩයන් ගෙන එනු ඇතැයි මා බලාපොරොත්තු වන අතර, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සිදු වෙමින් පවතින්නක් බවට හා එනමුත් එයට තව දුරටත් වර්ධන වේගය ඉහළ නංවාගත හැකි බවට, නිගමනයකට එළඹෙනු පිණිස දත්ත සහ විශ්ලේෂණ ඉදිරිපත් කෙරෙනු ඇත.

කෙසේ වෙතත්, මම තවමත් විශ්වාස කරන්නේ සාපේක්ෂව කුඩා රටක් ලෙස අන්තර්ජාතික තලයේදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මෙතරම් විශාල ලෙස කැපී පෙනෙන තත්වයක පැවතීමම විශාල ජයග්‍ර‍හණයක් බවයි. කලාතුරකින් හමුවන දුර්වල ක්‍රීඩා විලාසයක් කණ්ඩායමක් වඩාත් අධිශ්ඨානශීලී තත්වයකට ඔසවා තබනු ඇත.

ඔබේ අදහස අපට කියන්න. 


Authors

Idah Z. Pswarayi-Riddihough

Country Director, Mozambique, Madagascar, Mauritius, Comoros and Seychelles

Join the Conversation

The content of this field is kept private and will not be shown publicly
Remaining characters: 1000