මානව සංවර්ධනය පිළිබඳ සැලකීමේදී ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ රටවල් අතරින් ඉහළම කාර්ය සාධනය සහිත රට වන අතර, මානව සංවර්ධන පිළිබඳ අගයන් පහළ මධ්‍යම ආදායම් ලබන රටවල (LMICs) සාමාන්‍ය අගයන්ට වඩා ඉතා ඉහළ මට්ටමක පවතියි. මෙය සෞඛ්‍ය සහ අධ්‍යාපන අංශයන් කෙරෙහි රටෙහි කැපවීම සහ දිගු කාලීනව ළඟා කරගත් ජයග්‍රහණයන්හි ප්‍රතිඵලයක් වන අතර, රට පුරා විහිදුණු පාසල් ජාලය, ප්‍රාථමික හා ද්විතීයික පාසල් වලට ඇතුළත් වන ඉහළ සිසුන් ගණන මෙන්ම, මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාවන් සඳහා රට පුරාම පාහේ වන පුළුල් ආවරණය මීට සාක්ෂි සපයයි. සෞඛ්‍ය, අධ්යාපනය සහ සමාජ ආරක්ෂාව සඳහා ශ්රී ලංකාව දරණ වියදම දළ දේශීය නිෂ්පාදිතයේ ප්රතිශතයක් ලෙස ගත් කළ, කලාපයේ අනෙකුත් රට වලට මෙන්ම පහළ මධ්යම ආදායම ලබන රට වලට ද වඩා අඩුවුවද , මෙවන් පසුබිමක වුවද ශ්රී ලංකාව ආකර්ෂණීය ප්රතිඵල ලබා ගැනීමට හැකි වී තිබේ.
ඉතිරිව පවතින මානව සංවර්ධන අභියෝගයන් කිහිපයක් මැඩපැවැත්වීමට හැකි නම් ශ්‍රී ලංකාවට ඵලදායිතාවයේ හා ආර්ථික වර්ධනයේ නව තලයන්ට ළඟා වෙමින් වඩාත් ඉහළ ඉලක්කයන්ට ළඟා වීමේ හැකියාව පවතියි. මේ සඳහා නිදසුනක් ලෙස බස්නාහිර පළාතේ උපත ලැබූ අමන්ති නම් ගැහැණු දරුවෙකු හා සම්බන්ධ සිද්ධියක් සලකා බලමු. කොවිඩ්-19 වසංගතයට පෙර ලබා ගත් දත්තයන් යොදා ගනිමින් සකස් කරන ලද ලෝක බැංකුවේ නවතම මානව ප්‍රාග්ධන දර්ශකයට (HCI) අනුව, අමන්තිගේ අධ්‍යාපනය සහ සෞඛ්‍යය “පූර්ණ අධ්‍යාපනයකින් [ලබාගත හැකි ඉහළම විභාග ලකුණ 625ක් වන වසර 14 ක පාසල් අධ්‍යාපනය] හා පූර්ණ සෞඛ්‍යයකින් නිසි ලෙස වර්ධනය වන සහ වයස අවුරුදු 60 දක්වා ජීවත් වන] ලඟා විය හැකිව තිබූ මට්ටමට වඩා සියයට 40 කට වඩා අඩු වනු ඇත”. මෙයට මූලික වන්නේ සැලකිය යුතු ඉගෙනුම් පරතරයකි. ඉහළ ආදායම් ලබන රටවලට සමගාමීව, වසර 13.2 ක පාසල් අධ්‍යාපනයක් සම්පූර්ණ කිරීමට අමන්තිට සිදු වුවද, ඇය සැබැවින්ම ඉගෙනගන්නා දේ අනුව, ඇය විසින් පාසල් අධ්‍යාපනය ලබන කාලය අවුරුදු 8.5 කට සමාන වේ. එමෙන්ම රට තුළ සාපේක්ෂව ඉහළ මට්ටමක පවතින සාධකයක් වන අවම පෝෂණය නිසා දරුවන්ගේ සිදුවන අඩු වර්ධනය (stunting) සැලකිල්ලට ගැනීමේදී, අමන්ති අඩු වර්ධනයට ලක්වීමේ සියයට 17 ක අවස්ථාවක් පවතියි, එසේ නැතහොත් පෝෂණය මඳ වීම, යළි යළිත් ඇතිවන ආසාදනය වීම් සහ ප්‍රමාණවත් නොවන මානසික සමාජ උත්තේජනය (psychosocial stimulation) හේතුවෙන් වර්ධනය හා සංවර්ධනය අඩපණ වීමේ හැකියාවක් පවතියි.
මානව සංවර්ධනය කෙරෙහි වසංගතයේ සෘණාත්මක බලපෑම අවම කිරීම සඳහා, වඩා ශක්තිමත් හා වඩා ඔරොත්තු දිය හැකි සමාජ ආරක්ෂණ පද්ධති සහ වැඩසටහන් වෙනදාටත් වඩා වැදගත් වේ.
අවාසනාවකට මෙන්, කොවිඩ්-19 වසංගතය ද ශ්‍රී ලංකාවේ මානව සංවර්ධන අභියෝගයන්ට තවදුරටත් පීඩනයක් එල්ල කරන අතර ශ්‍රී ලංකාව වසර ගණනාවක් තිස්සේ ළඟා කරගත් ප්‍රගතිය අඩාල කිරීමට උත්සාහ දරයි. කොවිඩ්-19 හේතුවෙන් 2020 දී මූර්ත දළ දේශීය නිෂ්පාදිතය (Real GDP) දැඩි ලෙස අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙය දරිද්‍රතාවයේ සැලකිය යුතු වැඩි වීමකට හේතු විය හැකි අතර රැකියා හා ආදායම් අහිමිවීම් හේතුවෙන් බොහෝ පවුල් අවදානමට ලක්විය හැකිය. මේ හේතුවෙන් බොහෝ ශ්‍රී ලාංකික පවුල් වලට ආහාර වේල් මඟහැරීම සහ වෛද්‍ය සේවා ලබා ගැනීම මඟහැරීම හෝ ඉහත සඳහන් කළ පාසල් අධ්‍යාපනය අඩාල වීම වැනි සෘණාත්මක පියවරයන් කරා යෑමට සිදු විය හැකි අතර එය අනිවාර්යයෙන්ම මානව සංවර්ධන ප්‍රතිඵල අඩාල කිරීමට හේතු වේ.
මානව සංවර්ධනය කෙරෙහි වසංගතයේ සෘණාත්මක බලපෑම අවම කිරීම සඳහා, වඩා ශක්තිමත් හා වඩා ඔරොත්තු දිය හැකි සමාජ ආරක්ෂණ පද්ධති සහ වැඩසටහන් වෙනදාටත් වඩා වැදගත් වේ. විශේෂයෙන් 2040 වසර වන විට ජනගහනයෙන් සියයට 25 ක් පමණක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙන ආබාධිත පුද්ගලයන් සහ වැඩිහිටියන් ඇතුළු දිළිඳු හා අවදානමට ලක්විය හැකි ජනගහනය ආරක්ෂා කළ හැකි පද්ධතීන් සහ වැඩසටහන් අවශ්‍ය වේ. රටෙහි ඉහළ යමින් පවතින බෝ නොවන රෝග අනුපාතය වැඩිහිටියන්ට විශේෂයෙන් බලපාන අතර ඒ හෙයින්ම ඔවුන් කොවිඩ්-19 වසංගතය හමුවේ වඩාත් අවදානමකට ලක් වේ. අවසාන වශයෙන්, පාසැල් වසා දැමීම - මූලික අධ්‍යාපනය අංශයේ පමණක් ලොව පුරා මිලියන 10 කට වඩා සිසුන් පිරිසකට මූලික අධ්‍යාපනය අතහැර දැමීමට සිදු වේ යැයි අපේක්ෂා කෙරන අතර ගෝලීය වශයෙන් අනාගත ජීවිත ඉපැයීම් වලින් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 10 ක පමණ අලාභයක් ඉන් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම තත්වය සිය දරුවන් දිගටම පාසලට යවමින් ඔවුන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති දරිද්‍ර හා අවදානමට ලක්විය හැකි පවුල් සඳහා විසමානුපාතික බලපෑමක් එල්ල කරනු ඇත.
ලෝක බැංකුව විසින් සහාය දක්වන බොහෝ ව්‍යාපෘතීන්හි පවත්නා සැලසුම් තුළ කොවිඩ් ආශ්‍රිත ක්‍රියාකාරකම් ඇතුළත් කර ඇත.
කොවිඩ්-19 අර්බුදයෙන් “පැවති තත්වයටත් වඩා හොඳින් නැඟී සිටීමට” සහ මානව සංවර්ධන අංශයේ ළඟා කර ගත් ප්‍රගතිය ආරක්ෂා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වීම වෙනුවෙන් ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 155 ක නව හදිසි මූල්‍යකරණයක් ලබා දී ඇති අතර, පවතින කඩිනම් හා දිගු කාලීන අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා සහය සැපයීමට දැනට පවතින ව්‍යාපෘති ප්‍රතිව්‍යුහගත කරමින් ලබාගත් මූල්‍යකරණයන් (මේ දක්වා ඩොලර් මිලියන 161ක්) මේ සඳහා වෙන් කිරීමට කටයුතු කර තිබේ. නිදසුනක් ලෙස, කොවිඩ්-19 හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති සූදානම් කිරීමේ ව්‍යාපෘතිය, හදිසි සෞඛ්‍ය අවශ්‍යතාවයන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා සහ දිළිඳු හා අවදානමට ලක්විය හැකි ශ්‍රී ලාංකික ජනතාවට හදිසි මූල්‍ය ආධාර සැපයීමට රජයට සහාය වන අතරම වසංගත සූදානම සඳහා රටේ සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීමට ද උපකාරී වේ. රජයේ ඉල්ලීම පරිදි, හදිසි කොවිඩ්-19 ආශ්‍රිත අවශ්‍යතා සහ ප්‍රමුඛතාවයන් සපුරාලීම සඳහා රජයට සහාය වන බව සහතික කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වන සමාජ ආරක්ෂණ ජාල ව්‍යාපෘතියේ වැදගත් සැලසුම් අංගයන් ද ගැළපෙන පරිදි සකස් කරන ලදි.
මීට අමතරව, බොහෝ ව්‍යාපෘතීන්හි පවත්නා සැලසුම් තුළ කොවිඩ් ආශ්‍රිත ක්‍රියාකාරකම් ඇතුළත් කරන ලදි. ළමුන්ගේ හා ගුරුවරුන්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව සඳහා මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන වෙත මුහුණු ආවරණ, විෂබීජ නාශක, අතේ ගෙන යා හැකි තාප සංවේදක උෂ්ණත්වමාන සහ දෑත් සේදීමේ පහසුකම් වැනි පුද්ගලික ආරක්ෂක උපකරණ ලබාදීම සඳහා මූල්‍යකරණය සැපයීම තුළින් මුල් ළමාවිය සංවර්ධන (ECD) ව්‍යාපෘතිය කොවිඩ්-19 වසංගතයට ප්‍රතිචාර දක්වා ඇත. තවද වසංගතය නිසා ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙන පවුල් සඳහා සෘජු ආධාරයක් ලෙස වැඩි දරුවන් පිරිසක් වෙත පෙර පාසල් සඳහා ගෙවන ගාස්තු සහන පුළුල් කිරීම මෙන්ම අවශ්‍යතා ඇති ළමුන් වැඩි පිරිසක් වෙත ළඟාවීම සඳහා තවත් මුල් ළමා විය මධ්‍යස්ථාන බොහෝ ගණනකට ඉගැන්වීමේ ද්‍රව්‍ය ලබා දීමද එම ව්‍යාපෘතිය යටතේ සිදු කෙරේ. සාමාන්‍ය අධ්‍යාපන හා නවීකරණ ව්‍යාපෘතිය මඟින් සෑම පළාතකම ළමුන් හට රූපවාහිනිය හරහා අධ්‍යාපනය ලබා දීම සඳහා රජයට සහයෝගය ලබා දෙන අතර උසස් අධ්‍යාපනය පුළුල් කිරීම වේගවත් කිරීමේ හා සංවර්ධනය කිරීමේ මෙහෙයුම ඩිජිටල්කරණය පදනම් කරගත් ඉගෙනුම් හා විද්‍යුත්-ඉගෙනුම් ක්‍රම හරහා අධ්‍යාපනය ලබා දීමට විශ්ව විද්‍යාලවලට සහාය වේ.
සැමට මානව ප්‍රාග්ධනය හරහා දකුණු ආසියානු සියවස දියත් කිරීම යනුවෙන් දකුණු ආසියාවේ මානව ප්‍රාග්ධන සංවර්ධනය වේගවත් කිරීම සඳහා වන සැලැස්ම ලෝක බැංකුව විසින් මෑතකදී දියත් කරන ලදි. මෙම සැලැස්ම මගින් අංශ හතරක් (4 'i's) ඔස්සේ අවධානය යොමු කරමින් මානව ප්‍රාග්ධන සංවර්ධනය වේගවත් කිරීම සඳහා රටවල් දරන උත්සාහයන්ට සහාය සැපයීමේ රාමුවක් සපයයි: එම අංශ හතර නම්, සියලු ශ්‍රී ලාංකිකයින් සඳහා ගුණාත්මක සේවාවන් සහතික කිරීම සඳහා වඩාත් සුහුරු ලෙස ආයෝජනය කිරීම (invest); තවමත් ප්‍රයෝජනයට නොගත් ආර්ථික විභවයන්ගේ ඵල නෙලා ගැනීම සඳහා බැහැරව සිටින ඇති පිරිස ඇතුළත් කිරීම (include); දැඩි කැපකිරීමෙන් ළඟා කරගත් මානව ප්‍රාග්ධන ප්‍රතිලාභයන් ආරක්ෂා කිරීම සඳහා නොයෙක් ආකාරයේ කම්පනයන්ට මුහුණ දීමට හැකි වන පරිදි රක්ෂණය කිරීම (insure); මානව ප්‍රාග්ධන සමාචයනය (accumulation) වේගවත් කිරීම සඳහා නවෝත්පාදනය කිරීම (innovate) වේ. රජයේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව සහ ඵලදායී පුරවැසියෙක් සහ සතුටින් ජීවත් වන පවුලක් ප්‍රතිපත්තියෙහි ඇතුළත් වන ක්‍රියාමාර්ගයන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ සුවිශේෂී අවශ්‍යතා හා ප්‍රමුඛතාවන්ට අදාළ පරිදි හා ඒවාට ගැළපෙන සේ සකස් කර මෙම රාමුව ක්‍රියාත්මක කළ හැකිය.
අමන්ති වැනි කුඩා දරුවන් ඇතුළු අනාගත පරපුරට ඔවුන්ගේ පූර්ණ විභවයන් ළඟා කර ගත හැකි වන සේ මානව ප්‍රාග්ධන සංවර්ධනය වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය දැක්වීමට අපි සූදානම්ව සිටිමු.
මෙම ලිපිය සකස් කරනු ලැබුවේ මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකු කළමණාකරු චියෝ කන්දා විසිනි.
2021 ජනවාරි 24 ජාත්‍යන්තර අධ්‍යාපන දිනයයි. මුල් ළමාවිය රැකවරණය හා අධ්‍යාපනය (ECCE) සඳහා ආයෝජනය කිරීම ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ මන්ද යන්න පිළිබඳ අන්තර්ජාලය ඔස්සේ පැවැත්වෙන සංවාදයට සම්බන්ධ වන්න: www.facebook.com/WorldBankSriLanka
Join the Conversation