සෑම දිනයක්ම පරිසර දිනයක් විය යුත්තේ ඇයි?

This page in:

පරිසර කළමනාකරණය යන්න ක‍ෙතරම් අසීරු දෙයක්දැයි පසුගිය මාස හය තුළ ශ්‍රී ලංකාව ලද අත්දැකීම් තුළින්ම ‍පැහැදිලි විය. නියඟය, නාය යෑම්, කසල කඳු කඩා වැටීම්, මහා ගංවතුර ආදී විවිධාකාර සිදුවීම්වලට අප මුහුණ දුන් අතර විපතට පත් නොවූවන්ගේ අවධානය දිනා ගැනීම‍ෙන් තොරව ම එ්වා යටපත්ව ගියේ ය. සෑම අවස්ථාවකම සිදුවූ පරිදි, ජීවිත හා දේපළ හානි, දෛනික ක්‍රියාවලියට සිදු වූ බලපෑම් ආදිය විසින් මානසිකව හා ආධ්‍යාත්මිකව ක්‍ර‍මක්‍ර‍මය‍ෙන් ජීවත් වීමට අපහසු මන්දගාමී තත්ත්වයකට අප ඇද දමනු ලැබී ය.

එසේ නම්, මේ තිරසාර පාරිසරක කළමණාකරණයට අප එක් දිනයකදී පමණක් සිත් යොමන්නේ ඇයි?    සාමාන්‍යය‍ෙන් අප පරිසර දිනය සමරන්නේ නගරය වටා, ගං ඉවුරක හෝ මුහුදු ව‍ෙරළක කසළ එකතු කිරීම, නොඑසේනම් පාගමනකට හෝ එවන් ව‍ෙනත් වැඩසටහනකට සහභාගී වීම මගිනි. උනන්දුව අහවරවත්ම, “වඩාත් දැවෙන ප්‍ර‍ශ්න“ වෙනුවෙන් පසුදා උදයේම සැවොම පිය ඔසවන අතර සුපුරුදු අනෙකා මත වරද පැටවීමේ ක්‍රීඩාව ද ආරම්භ වේ.     
 

Image
Photo Credit: Mokshana Wijeyeratne

මෙහිදී පහත ප්‍ර‍ධාන කරුණ තහවුරු කරන්නට කැමැත්තෙමි. ඒ නම්, අප සියල්ලන්ම අර්බුදයේත් විසඳුමේත් කොටස්කරුවන් බව වටහා ගන්නා තුරු කිසිවක් ව‍ෙනස් නොවනු ඇති බව ය. ම‍ෙවන් බොහෝ අර්බුදවලදී , ව‍ෙනසක් සිදු කිරීමේ හැකියාව ඇත්තේ, දිනපතාම, අපටම ය!

කසළ ගැන සලකා බලමු. අපි සැවොම පුද්ගලික මට්ටමින් නිවස තුළ කසළ නිෂ්පාදනයෙහි යෙදෙන්නෝ වෙමු. එහෙත් නිවසින් පිටතට කසළ මලු විසි කළ තැන සිට එය තවදුරටත් අප සිතන සීමාවෙන් ඔබ්බට යයි. සැබවින්ම එය පොදු අර්බුදයක් බවට පත් වේ. නමුත්, අපට නිවසේ එක්රැස් වන කසළ, දිරාපත් වන, දිරාපත් නොවන සහ අවශේෂ කසළ ලෙස වෙන් කොට නිවැරදිව බැහැර කරන ලද්දේ නම් සමස්ථ කසළ සැලකිය යුතු ලෙස අඩු වනු ඇත. වඩා ඵලදායී ලෙස, දිරන කසළවලින් කොම්පෝස්ට් පොහොර තනා භෝග සහ ගෙවත්ත සාරවත් කිරීමට ද යොදා ගත හැක.

ගමනාගමනයේදී  වැඩිදුර නොසිතා ඉවතලන කසළ ගැන ඔබ සිතා බැලුවා ද? එය ජල අපවහන පද්ධති තුළ රැඳී, ජල මාර්ග අවහිර කොට, ජල ගැලීම් හා අපද්‍ර‍ව්‍ය නිපදවීම් උග්‍ර‍ කරන්නට ඇත; නොඑසේනම්, සුන්දරත්වය පිළිබඳ උදම් අනන රටක පරිසරය අවලස්සන කරන්නට ඇත; මුහුදු හා සාගර වෙත ගොස් ඒ පරිසරයන්ද විනාශ කරන්නට ඇත.  සැබවින්ම එම කසළ ඉවත් කරන්නට අප පරිසර දිනය එළඹෙන තෙක් බලා සිටිය යුුතු ද?

පරිසර දිනයෙන් පසු අනවරත පසු-ක්‍රියාවලියකට සැමට අභියෝග කරන්නට මම කැමැත්තෙමි.

මගේ යෝජනාව මෙයයි.

ප්‍ර‍තිපත්ති සම්පාදනයට සහ නියාමනයට රජයට සහයෝගය දක්වමින් අවශ්‍ය ස්ථානයන්හිදී බලපෑම් කරමු. අපගේ පරිසරය සුරක්ෂිත කරනු පිණිස වන යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීමට ඔවුන්ට දිරි දෙමු. උදාහරණ ලෙස, එය සනීපාරක්ෂක වැඩපිළිවෙලක් වුව, නියං සමයට ජලය ගබඩා කිරීමේ පියවරක් ලෙස එන කුඩා පරිමාණ වාරි පද්ධතියක් හෝ ජලාශයක් වුව, ජෛව විවිධත්වය සුරැකීම සඳහා වඩා හොඳ රෙගුලාසි පද්ධතියක් වුව, ප්‍ර‍මාණවත් ය. පෞද්ගලික අංශය ඉදිරියට විත්, ආයෝජන සඳහා රජයට සහාය දක්වමින් ඔවුන්ගේ අත්දැකීම් හා අරමුදල් භාවිතයට කැඳවිය යුතු ය. වෙනත් රටවල අත්දැකීම් පෙන්වා දෙන්නේ කසළ කළමනාකරණය හරහා ලැබෙන ප්‍ර‍තිලාභ දාමයේ මූල්‍යමය හා ලාභාංශ වශයෙන් ලැබෙන ලාභයන්ද ඇතුළත් වන බව ය. පාසල් දරුවන්ට වඩා හොඳ පාරිසරික දැනුමක් ලබා දීමට පාසැල කටයුතු කළ යුතු අතර ඔවුන් එම පණිවුඩ වැඩිහිටියන් වෙත රැගෙන යනු ඇත. රාජ්‍ය නොවන සංවිධාන ද  ඔවුන් දකින දුර්වලතා රඳවා ගැනීමට කටයුතු නොකරමින්, එයට විසඳුම් සෙවීමට හා ඒ ක්‍රියාත්මක කිරීමට රජය සමඟ සමීප ව කටයුතු කිරීම වැදගත් ය. මෙම ප්‍ර‍ශ්න  විසඳීමට තැත් කිරීම සමග අසහනය ඉහළ නැගීමට ද ඉඩ ඇත. රජයට ඇතැම් යටිතල පහසුකම් සපයා දෙන්නට යමකුගේ ආසන්නබිමක් තෝරාගන්නට සිදු වනු ඇත. ඇතැම් විට ඉහළ වටිනාකමකින් යුතු භූමියක් ඒ වෙත කැප කරන්නට සිදු වනු ඇත. ජනතාවට ද ආපදාවලට ඉඩ ඇති කලාප අතහැර යන්නට බල කෙරෙනු ඇත. ආයෝජකයින්ට ද සිය ආයෝජන සඳහා නව ආයෝජන කලාප සොයායන්නට සිදු වනු ඇත.

අවසාන වශය‍ෙන්, ම‍ෙම සංකීර්ණ ක්‍රියාදාමයට දායක විය හැකි භූමිකාව කුමක්දැයි පොදු ජනතාව, රජය, පුද්ගලික අංශය, රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු පාර්ශවයන් පැහැදිලිව විග්‍ර‍හ කරගනු ලැබිය යුතු ය. අප සියලු දෙනාම මෙම ක්‍රියාදාමය හා සම්බන්ධ විය යුතු ය. අපි පරිසරය විනාශයට පත් කරන්නේ නම්, දේශීය හා ගෝලීය වශයෙන් අප ලබන ප්‍ර‍තිවිපාක ඉතා අහිතකර සහ දිගුකාලීන වනු ඇත. එමගින් වන බලපෑම්, ආර්ථික වර්ධනය, අප කැපවී උපයාගත් වත්කම් ආරක්ෂා කරගැනීම සහ අපගේ ජීවිතාපේක්ෂාව යන සියල්ලටම සෘජුව බලපෑම් එල්ල කරමින් ලෙස අනාගත පරපුර වෙනුවෙන් වන අවස්ථා පහත දමනු ඇත.

පරිසරය, දිනපතාම මිස, වසරකට වරක් එහි වැදගත්කම අපට මතක් කර දෙන්නේ නැත. මට දිනයක ආඩම්බර විය හැක්කේ, කා විසින් සිදු කළේ ද යන්න මත නොව - සාමූහික ලෙස - අපි අපේ පරිසරයේ සුරක්ෂිත බව තහවුරු කොටගෙන, ජීවිත හානි අවම, ජීවන තත්වය ඉහළ මෙන්ම අපගේ දරුවන්ට හා ඔවුන්ගේ දරුවන්ට සතුටින් ජීවත් විය හැකි පරිසරයක් සකසා දී පිටව යන්නට හැකි වන මොහොතේ දී ය.

සෑම දිනයක්ම පරිසර දිනයක් වූ විට පමණක් එම සිහිනය සැබෑවක් වනු ඇත! සුබ ලෝක පරිසර දිනයක් වේවා!!
 


Authors

Idah Z. Pswarayi-Riddihough

Country Director, Mozambique, Madagascar, Mauritius, Comoros and Seychelles

Join the Conversation

The content of this field is kept private and will not be shown publicly
Remaining characters: 1000